වෙන රට වල අයට කෙසේ වෙතත් අපේ ලංකාවේ බොන අයට නම් බොන්න දෙයක් වගේම බයිට් එකත් හරිම වැදගත්. බොන්න ජාති කොච්චර තිබ්බත් , මිශ්‍ර කරන්න මොකුත් නැති උනත් බයිට් එකට නම් මොනා හරි නැත්නම් බීලා හමාරයි තමා. සෝඩා, කොකා කෝලා මොකුත් නැත්නම් ඇල්වතුර එක්ක හරි බොයි . ඇල් වතුරත් නැත්නම් නිකම්ම හරි බීලා දායි ඒත් හපන්න බයිට් එකක් නැත්නම් ඒකට නම් විසඳුමක් නැහැ.
අපේ අයියා කෙනෙක් ඉන්නවා බෝධිසත්වයෙක් (කාලක් ගහන කෙනා - කාලකන්නියා, බාගයක් ගහන කෙනා භාග්‍යවන්තයා, බෝතලයක් ගහන කෙනා බෝධිසත්වයා ඊට වඩා බොන අයට කියන්න නම් නැහැ මොකෝ එහෙම අය වැඩි කල ජීවත් වෙන්නේ නැති නිසා) මිනිහා දවසක් කියනවා එක පාරක් බොන්න ගිහින් බයිට් එකට එක වඩයයිලු තිබ්බේ අන්තිමට වඩේ එකේ පරිප්පුඇට වෙන් කරල කට්ටියට සම සමව බෙදලා ඒක එක්ක කිව්වා බිව්වේ. ඒ කියන්නේ එච්චර බොන කෙනෙක්ට උනත් බයිට් නැත්නම් බොන්න අමාරුයි කියන එක තමා.
හැබැයි මේක ගොඩක්ම ලංකාවේ අය අතර තියෙන දෙයක්ලු. වෙන රටවල් වලනම් බොනකොට කන සිරිතක් නැහැ කියලා තමා ඔය රට ගිය ඇත්තෝ කියන්නේ. (මන් නම් ඔය වෙන රටවල වෙන දේවල් ගැන දන්නේ නැහැ) හැබැයි එහෙ ගිය අයත් මෙහෙ ඇවිත් බොන කොට නම් බයිට් හොයනවා.
මම කාලා තියෙන බයිට් ජාති වලින් වඩාත්ම මතකයේ රැඳුනු එක තමා ලෙමන් ජින් එක්ක කාපු ඇපල් අච්චාරුව. ලුණු ගම්මිරිස් කුඩු දාපු කොල පාට ඇපල් එක ලෙමන් ජින් එකත් එක්ක නැගලා ගියා නියමෙට. ඒ ඇරෙන්න SSC එකේ Hot Buttered Cuttlefish එක, දෙහිවල ඉම්පාලා එකේ Devil Chicken එක, දෙහිවල මහරගම පාරේ තියෙන Al Bite එකෙන් ගත්ත Chicken එකක්. එකේ නම නම් මතක නැහැ මොනා හරි Pepper කතාවක් තියෙන එකක්. ඒක නම් නියමයි. ඉඳලා හිටලා බයිට් එකට ගන්න විශේෂ දෙයක් ඇරුනම නිතරම කැවෙන්නේ එකම ජාති ටික තමා.
බිත්තර රොටී, බිත්තර ආප්ප, රෝස් පාන් වගේ ඒවාත් සමහර වෙලාවට බයිට් එකට ගැනෙනවා. එක පාරක් රඹුටන්නුත් කෑවා. සමහර අය නම් රාබුත් කනවලු ඒත් මන් නම් හිතන්නේ නැහැ රාබු හොඳ ඇති කියලා. හැබැයි ලුණු ගම්මිරිස් කුඩු දාපු පිපිඤ්ඤා නම් හොඳයි. කවුදෝ කිව්වා අරක්කු එක්ක ඉදිච්ච ගස් ලබු නියමයි කියලා. සුප් කැට, රා තැබෑරුමේ තියෙන ලුණු කුඩු ටිකත් බයිට් එකට වෙලාවේ හැටියට ඇති. ඔය මේ අස්සේ මන් කාපු සවුත්තුම බයිට් එක තමා ගම්පහ තානායමෙන් කාපු බැදපු මාලු එක. ඒක කාලා මට පහුවදා දවසම ඇඳේ ඉන්න උනා බඩේ අමාරුව හැදිලා. එදායින් පස්සේ නම් ඒ පැත්තවත් බැලුවේ නැහැ
ඡායාරූප 1 මෙතනින්
ඡායාරූප 2 මෙතනින්
මත්පැන් බීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි.
බීමත්ව රිය පැදවීමෙන් වලකින්න.