+DSC00611+copy.JPG)
අපේ සෙට්වෙන කට්ටියගෙ ට්‍රිප් එකට ගෙනියන්න කියල විශේෂ ඉල්ලීමක් අනුව අම්ම හදපු කැවිල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ. පොල් ටොෆි කියල තමයි අපි කියන්නෙ. මේව මම හිතන්නෙ නොකාපු කෙනෙක් නැති තරම්. ඒත් ඒ එක එක කොලිටි වල ඒව නිසා කාල තියෙන්නෙ එකම ජාතියද කියල ෂුවර් නැතිව ඇති. ඔන්න ඉතිං මම කාටත් හිතසුව පිණිස මේක හදන විධිය ගැන ලියන්න හිතුවා. මේවා හදාගන්න ඒ තරම් අමාරු නෑ. අවශ්‍ය වෙන්නෙත් බොහොම පොඩි දේවල් ටිකක්. පොඩි කිව්වෙ ඉතිං ලංකාවෙ නම් ලේසියෙන් හොයාගන්න පුළුවන් අපි කොහොමත් ගෙදර පාවිච්චි කරන ද්‍රව්‍ය නිසයි.
මුලින්ම පොල් ගාල තියාගන්න. සාමාන්‍යයෙන් ලොකු පොල් ගෙඩි 2කට සීනි ග්‍රෑම් 600ක් විතර ඇති වෙයි මගෙ හිතේ. ඒ වගේ ලොකු පොල් ගෙඩි දෙකකින් අඟල් 1 1/4 කෑලි 100ක් විතර කපාගන්න පුළුවන්
සීනි ටික වතුර හැඳි කීපයක් එක්ක ලිපේ තියන්න. ඒක උණු වෙද්දි මුලින්ම එනසල් කුඩු කරල ටිකක් එකතු කරන්න ඕන. ඊටත් පස්සෙ පොල් ටික දාල හොඳට කලවම් කරන්න ඕන. වතුර ගතිය යන්තම් තියෙද්දි වැනිල ටිකක් දානව සුවඳ වෙන්න. ආයෙත් කලවම් කරන්න ඕන ඇලෙන නොඇලෙන ගානට. කෑම වලට දාන පාට වලින් කැමති පාටක් දාගන්න පුළුවන්. අම්ම නම් දාන්නෙ රතු පාට තමයි. ඒක ඉතිං හැදුවම රෝස පාට වෙනවා. ඒකෙන් රසේ වෙනසක් නම් වෙන්නෙ නෑ. ලුණු බින්දුවක් දෙකක් දාගත්තත් කමක් නෑ කියලයි අම්ම කිව්වේ.
මේක මේ විධියට හැඳිගානකොට අර පදම කියන එක එද්දි, ඒ කියන්නෙ තැටියක අතුරගන්න පුළුවන් පදම එද්දි ලිපෙන් බාල ලී තැටියක අතුරගන්න ඕන. ටික වෙලාවක් හයි වෙන්න තියල කෑලි කපාගන්න පුළුවන්.
මේක අතිශය පැණි රස කෑමක්. ඒ නිසා පැණිරස කෑම සම්බන්ධව ප්‍රශ්ණ තියෙන අය නොකෑවට කමක් නෑ. එහෙම නෙවෙයි නම් ඉතිං බේදයක් නෑ.
පොල් ටොෆිය අවුරුදු කැවිල්ලක් විධියට අපේ ගෙදර හදනවා. ඒක මම දන්න කාලෙ ඉඳන් තියෙන දෙයක්. ඒ වගේම විශේෂ අවස්ථාවලදිත් ලේසියෙන් හදාගන්න පුළුවන්කම තියෙන කවදාවත් ඉතිරි නොවෙන කෑමක් තමයි පොල් ටොෆිය. තේ වලට සීනි නොදමා පොල් ටොෆියක් එක්ක එහෙම බොන්න පුළුවන්. ඔයාලත් වෙලාවක උත්සාහයක් අරන් බලන්න.