ඇල්බට් අයියගෙ කඩේ තිබුණෙ නුගේගොඩ. අන්තිම වතාවට එතනින් කෑවෙ අවුරුදු 2කටත් කලින් වගේ මතකයි. දැන් නම් ඇල්බට් අයිය නෑ. මම හිතන්නෙ එයා 'ම' හම්බ වෙන්න ගිහින් නැත්තං ඒකට සූදානම් වෙමිනුයි දැන් ඇත්තේ. මොනව වුණත් ඇල්බට් අයියගෙ කඩේ සම්බන්ධ මතකයන් නම් හරිම සුන්දරයි.
මම ඇල්බට් අයියගෙ කඩේ ගැන මුලින්ම කියෙව්වෙ එක්දාස් නමසිය අනූ ගණන් වලදි ලක්බිම රිද්ම අතිරේකයේ විශේෂාංග ලිපියකින් වගේ මතකයි මට. ඒකෙ තිබුණෙ වාහනයක් ඇතුලෙ තියෙන කඩයක් ගැන. ලිපියෙ සහ සඳහන් වුණ කෑම බීම රසවත් නිසා මට ඒක මතක තිබුණ.
දෙදාස් තුනේ විතර නුගේගොඩ වැඩට යන්න ගත්තට පස්සෙ අපේ බෝඩිමේ යාළුවො දෙන්නත් එක්ක රෑට කන්න හොයන්න පාරට බැස්සම තමයි මට ඇල්බට් අයියව මුණ ගැහෙන්නේ. ඇල්බට් අයියගෙ කඩේ පරණ කාර් එකක්. ඒකෙ බොනට් එක ඇරියම තියෙන්නෙ වතුර බැරල් එකක්. ඇල්බට් අයිය ඉන්නෙ කාර් එක ඇතුලෙ. එයා වටේට කඩදාසි පෙට්ටි වලයි මුට්ටි වලයි එක එක කෑම ජාති තියෙනවා. ඉඳි ආප්ප, පිට්ටු, වඩේ වගේ ඒව තමයි ජනප්‍රිය. බත් තිබුණද කියල නම් මතක නෑ මොකද කවදාවත් එතනින් බත් කාපු බවක් නම් මතක නෑ. ඔය කෑම කන්න පරිප්පු හොඳි මස් හෝ මාළු හොදි තියෙනවා. හොදි නම් හැමදාම වතුර ගතියට තිබුණට ඒ ලෙවල් එකේ කොලිටි එකත් එක්ක අපට කවදාවත් ඒව විසි කරන්න නම් වුණේ නෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ මාළු හොදි එකත් එක්ක දුන්න මාළු කෑල්ල ඒ ගානට වටිනවා. හෙන පත සයිස් මාළු කෑල්ලක් තමයි අපට හම්බ වුණේ.
මේ කඩේ දවල්ට තියෙන්නෙ නුගේගොඩ ඉමේජ් කලර් ලැබ් එක පිටිපස්සෙ අපේ මරියසෙල් ගුණතිලක නෝනගෙ ගෙදර තමයි. දවල්ට කඩේ වහලා. හවසට ඇල්බට් අයිය එක එක කෑම ජාති ගෙනත් ඕක පුරවනවා. රෑ 9ට විතර තමයි තවත් දෙන්නෙක් හවුල් කරගෙන ඕක තල්ලු කරගෙන එන්නේ. කාර් එක නැවැත්තුවෙ හයිලෙවල් පාරෙ දැන් නුගේගොඩ පීසා හට් එක ඉදිරිපිටම පාරෙ අනිත් පැත්තෙයි.
ඇල්බට් අයිය කළු පොකුටු කොණ්ඩයක් තිබුණ වැඩිය කතා නොකරපු මනුස්සයෙක්. කතා කරන්නෙ ගාණ කියන්න විතරයි. ගොරෝසු කටහඬකින් මිනිහ කාර් එක ඇතුලෙ ඉඳන් ගාන කිව්ව. හැබැයි හැමදාම වගේ එතනින් කන, දන්න කෙනෙක් නෙවෙයි නම් මිනිහා ගානත් කැපුවා. අපි ගියපු මුල් දවසකත් ගාස්තුව විධියට නොහිතපු ගාණක් කිව්වම අපේ මහේෂ් අයියා වෙන වෙනම ගණං එකතු කරල බැළුවම රුපියල් 40ක් විතර වැඩිපුර තමයි කියල තිබුණෙ. එදා ඉඳන් අපට නම් නියම ගාන ගත්තා.
මේ කඩේ සෑහෙන්න ජනප්‍රියයි. තරාතිරමකින් තොරව කට්ටිය මෙතනින් කෑම කෑව. සමහර වෙලාවට එතන තිබුණ පෝලිම නිසා අපි ඒක මගහැරලත් ගියපු වෙලාවල් තිබුණ. ත්‍රීවීල් අයියල, වාහන හයර් කරන අයියල වගේම රෑ වෙල වැඩ ඉවර වෙන නුගේගොඩ අවට හිටපු ගොඩක් දෙනා ගෙවන ගානට බඩ පුරා කන්න ආවෙ මෙතනට තමයි. බොනට් එකේ බැරල් වතුරෙන් අත හෝදගෙන එතනම තාප්පෙට හේත්තු වෙලා රෑ 9-10 ට පාරෙ වාහන දිහා බලාගෙන කෑමක් කන එක පොඩි ගතියකුත් සපයන්න ඇති කට්ටියට.
දැන් නම් ඇල්බට් අයිය නෑ මම දන්න තරමින්. ඒ වුණත් දැනුත් එතනින් කාපු මගෙ යාළුවො දෙන්න එකතු වුණාම ඒ ගැන කතාවක් දෙකක් ඇදිල එනවම තමයි.
Subscribe to:
Post Comments (Atom)
ඔය කඩේ ගැන ලිපියක් මාත් පත්තරේ දැක්ක. දැන් නම් ඔහොම එකක් එතන නැහැ. පහුගිය ටිකේ මාසයක් දෙකක් මාත් ඔය හරියේ රෑ ගැවසුන්නා. එහෙම එකක් තිබ්බ නම් දකින්න ඕනේ
වෑන් වල තියන කඩ දැක්කලා තිබ්බට කාර් කඩයක් ගැන ඇහුවයි මේ..